ඉබ්බන්කටුව පුර්ව ඓතිහාසික මෙගලිතික සුසානය.


2019.12.29 

ඉබ්බන්කටුව පුර්ව ඓතිහාසික මෙගලිතික සුසානය.




දඹුල්ල හා ඒ අවට ආදී මානව ජනාවාස පැවති බවට මතුවූ සාධක සාක්ෂි අතරින් අලකොලවැව,පොතාන ආදී ස්ථාන අතරින් ඉබ්බන්කටුවට සුවිශේෂී ස්ථානයක් හිමිවෙනවා.මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ඉබ්බන්කටුව කළා ඔයේ පෝෂක ශාඛාවක් වූ දඹුලු ඔයේ වම් ඉවුරේ පිහිටා තිබෙනවා.හෙක්ටයාර් 13 ක ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව පවතින මෙම සුසාන භුමිය මහා ශිලා සම්ප්‍රදායේ ශිලා මංජුසා සුසාන වර්ගයට අයත් සුසාන ගර්භවලින් සමන්විතය.








පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙකු වූ ආචාර්ය රාජා ද සිල්වා විසින් ඉබ්බන්කටුව සුසාන භුමියේ 1970 දි පළමු වරට කැනීම් කර ඇති අතර 80 දශකය අග භාගය වනවිට වඩාත් පුළුල් හා විද්‍යාත්මක සැලැස්මකට අනුව පර්යේෂණ සිදු කර ඇත.එහිදී පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය ,මධ්‍යම සංස්කෘතික අරමුදල හා ජර්මනියේ KAVA ආයතනය යන දෙස් විදෙස් ආයතන රැසක් එක්ව 1988 සිට 1990 දකවා අවස්ථා තුනකදී කැනීම් සිදුකරමින් සුසාන 21ක පොකුරක් සොයා ගෙන ඇති අතර එයින් ලබා ගත් නියැදි කාබන් කාල නිර්ණයට ලක් කිරීමෙන් මෙම සුසාන ක්‍රි.පු 600 ට අයත් බව නිගමනය කර තිබෙනවා.
















2015 වසරේ දි මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ඉබ්බන්කටුව සුසාන භුමිය නැවත පරීක්ෂණයට ලක් කරමින් එම සුසාන 21 පොකුරට මදක් බටහිර දෙසින් පිහිටි සුසාන ගොන්න නැවත පරීක්ෂණයට ලක් කර තිබේ.එහිදි මීටර 10*10 ප්‍රමාණයක පස් තට්ටුවක් ඉවත් කරමින් නැවත සුසාන 47ක් සොයා ගෙන ඇත.
ඒ අතරින් ශිලා මංජුසා නම් සුසාන 26ක් හමුවී ඇත.




එම සුසාන ග්‍රැනයිට් පාෂනයෙන් චාම් ගල් පතුරු යොදාගෙන ආයතාකාර හෝ චතුරශ්‍රාකාරව ගර්භ තනා සමහර ඒවා පියන ගලකින් ආවරණය කරන් ලද අතර ඒවා තුල මිනිස් භෂ්මාවශේෂ සහිත විශාල මැටි බඳුන් හා කුඩා මැටි බඳුන් 2-10 අතර ප්‍රමාණයක් තැන්පත් කර තිබී ඇත.මෙම මැටි බඳුන් බහුවිධ හැඩවලින් සමන්විත අතර කළු හා රතු වර්ණවලින් මැටි බඳුන් 2ක් දැකිය හැක.
මීට අමතරව තඹ හා යකඩ වලින් කල මෙවලම් හා පබළු වර්ගද මේ තුල හමුවී ඇත.









විජයාවතරණයට පෙර සිටම ස්වදේශික ජනතාව සුසාන චාරිත්‍ර අනුගමනය කිරීම දියුණු ශිෂ්ටාචාරගත ලක්ෂණ පෙන්නුම් කිරීමක් වන අතර මුල් යකඩ යුගයට අයත් ජනාවාසයක් හා සුසාන භූමියක් එකට හඳුනා ගත් පළමු අවස්ථාවද මෙය වනවා.


Comments

Popular Posts